1 කොටස (#බෞද්ධ_දර්ශනය_හා_සංස්කෘතිය)
සමාවන්න මෙසේ මෙවැන්නක් සමාජ මාධ්‍යයක ලිවිම ගැන. නමුත් ක්ෂණයකින් ඇතිවූ සිතුවිලි සමුදායක් මෙසේ අර්ථවත් ලෙසකින් මුදාහැරීමට සිතුවෙමි.
මම හා අප සියලුදෙනා ජිවත්වන මෙම ශ්‍රී ලංකා දීපය හෙවත් දිවයින අනාදිමත් කාලයක සිට බෞද්ධ රටක්. එයට මහාවංශය , සෙල්ලිපි ආදී බොහෝ සාක්ෂි පවතී. අනුරාධපුර යුගයේ දහස් ගණනින් රතන් වහන්සේලා වැඩසිටියාලු. බෞද්ධාගමට රාජ්‍ය අනුග්‍රහය ලැබුනාලු. අසුහාරදහසක් වූ මහා ධර්මස්කන්ධය ග්‍රන්ථාරූඪ කරාලු. එකල රජවරු දහසක් වැව් තනවා බත බුලතින් රට ස්වයංපෝෂිත කරාලු. සඟ - වේද - ගුරු - ගොවි - කම්කරු යන පංච මහා බලවේගය රට ආරක්ෂා කරාලු. අවුරුදු 2500 කට එහා ගිය මහා ඉතිහාසයක් අපට තිබුනාලු. ශ්‍රී ලංකාව ලෝකයේ උතුම්ම රටලු. මෙම කරුණු ඔබ බොහෝ දෙනා අසා ඇති බව මම විශ්වාස කරමි. එයින් සියල්ලම හෝ බොහෝ දේ විශ්වාස කරන බවද මම සිතමි. එම මතයේ සිට මම යතාර්ථය පිළිබඳව කුඩා හැඳින්වීමක් කරන්නට කැමැත්තෙමි.
ඉහත කරුණු සියල්ල අතර ඔබ "සිංහල බෞද්ධයෙකු" ලෙස තමන්ව හඳුන්වාගන්නවානම් , බෞද්ධාගම සම්බන්ධව ආන්දෝලනාත්මක යමක් සිදුවන විට කලබලයට පත්වනවානම් , දේශපාලනයේදී හා න් සියලුම තැන් වලදී "සිංහල බෞද්ධ" ලෙස තමන්ව හඳුන්වාගන්නා පාර්ශවය සමග එක්වේනම්, ඔබ තුල එලෙස අනාදිමත් කාලයක් පුරා ඇසු විරූ කරුණු නිසා ඇතිවන අභිමානයක් හා තමන් එම අභිමානනීය ඉතිහාසයේ කොටස්කරුවෙකු ලෙස සිතීම හා තමන්ගේ ජාතිය ලෙස සිතීම නිසා ඇතිවන ආවේගයක් පවතී.
අතීතයේදී ගැමි ගෙවල්වල කොස් කෙටීමට ඇති කඩුව , කැවුම් මල්ලක්ද සමග ගෙන පාගමනින්ම රට බේරාගැනීමට පර ජාතින් හා යුද්ධයට ගිය සිංහලයන් තුල තිබු ආවේගයට ආසන්න යමක් ඔබ තුල ඉතිරිව පවතී.
මෙහිදී මම ආසන්න යමක් ලෙස හැඳින්වීමට වැදගත් හේතුවක් ඇත. එකල යුද්ධයට ගිය බොහෝ අය නැවත ගම්බිම් කරා නාවෝය. ඔවුන් එකා පිට එකා මැරී වැටෙන විටෙක තම රට වෙනුවෙන් නොබියව ඉදිරියට ගියහුය. එකල යුරෝපීයයන් සිංහලයන්ගේ එඩිතර බවට බියවිය. ඔවුන් සිංහලයන් හා ගැටී මහා විනාශ ලද්දාහුය. එකල සිංහලයන්ට තම පවුල් වල පැවැත්ම ගැන සිතීමට තිබුනේ එක දෙයක් පමණි, එනම් රටේ පැවැත්ම පමණි. ඉන් එහාට සියල්ලන්ම ස්වයංපෝෂිත විය. මුදල් මත යැපෙන්නන් නොවීය. ඔවුන් බෞද්ධ දර්ශනය අනුගමනය කරන්නන් විය.
බෞද්ධ දර්ශනය හා බෞද්ධ සංස්කෘතිය එක්ව පැවතුනත් සංස්කෘතිය යනු බෞද්ධ දර්ශනය නම් පොත වෙලා පවතින කවරය මිසෙක එකම දෙයක් නොවේය. බෞද්ධ දර්ශනය තුල විනය, විද්‍යාව, පරිසරය, ලෝක ස්වභාවය, ලෞකික පැවැත්ම හා ලෝකෝත්තර දියුණුව ආදී දැනුම අන්තර්ගත වී ඇත. පන්සල , පින්කම් , පෙරහැර , ආදී සියලුම භෞතික හා සංස්කෘතික පැවතුම් එම දර්ශනය නොනැසී පවත්වාගැනීමට සෑදුනු බෞද්ධ දර්ශනය නමැති මහා විශාල පිටු සංක්‍යාවකින් යුතු පුස්තකය බැඳ තබන්නාවූ වර පටවල් හා කවරයක් විය.
කාලය ගතවෙත්ම මම ඉහත ඡේද ද්විත්වහිම දැක්වූ කරුණු සමාජය හා ආර්ථිකය සමග වෙනස්විය. යුද්ධය වෙනස් මුහුවරක් ගත අතර පෙර ලෙසට සරල නොවිය. දේශපාලන ක්‍රමය වෙනස්වූ අතර රට තුල එකම ජාතිය අතර යුද්ධ ඇතිවිය. යුද්ධය හා දේශපාලනය එකිනෙකට පිළිකුල් ලෙස බැඳී පවතින එකිනෙක මත යැපෙන විවිධ පාර්ශවයන්ගේ කෙලිමඩලක් බවට පත්විය. පාලකයන්ගේ යුද්ධයට පාලිතයන්ට යාමට සිදුවිය. එය රට ජාතිය පෙරදැරිව සිදුවුවත් එය අපිරිසිදු හා සංකීර්ණ විය. දේශපාලනයද එසේම විය. අතීතයේ පැවති එකමුතුකම වෙනුවට නව දේශපාලනය සඳහා යුරෝපීයයන්ගේ ක්‍රමෝපායක් වූ බෙදා වෙන්කර පාලනය කිරීම යොදාගන්න ලදී. අදටත් එය එලෙසම ක්‍රියාත්මකය. මෙයට බෞද්ධ සංස්කෘතියද පටලවාගත්කල ක්‍රමක් ක්‍රමයෙන් පිරිහෙමින් පැවති බෞද්ධ ධර්ශනය හා ජීවත්වීමේ රටාව සම්පුර්ණයෙන්ම විකෘති කොට අභ්‍යන්තර දේශපාලන අවියක් බවට පත්කර ජනයා තුල ඇති අභිමානය හෝ හැඟීම නිර්ලජ්ජිත ලෙස අද වන විට යොදාගනිමින් පවතී.
මෙහි තවත් කොටසක් මා විසින් ලිවීමට නියමින් අතර මෙය නිමාකිරීමට පළමුව මෙසේ සඳහන් කීරීමට කැමැත්තෙමි. බෞද්ධයන් ලෙස අප සතු වන වටිනාම දෙය නම් එම දර්ශනයෙන් අප ලද දැනුම හා ජිවන රටාවයි. අප අපව, සිංහල බෞද්ධයන් ලෙස හඳුවාගත්තද , කිසිඳු දෙයක් එම දර්ශනය අනුව නොකරයිනම් , අප සිංහල බෞද්ධයන් ලෙස හඳුන්වන්නේ කෙසේදැයි මම ප්‍රශ්න කරමි. බෞද්ධ සංස්කෘතිය හෙවත් පන්සල් , පින්කම් ,පෙරහැර, ආදී සියල්ලන්ම එම දර්ශනය වටකොට ඇතිවූ පැවැතු වස්තුන් මිසෙක බෞද්ධ දර්ශනයට එහා ගිය මුලිකත්වයක් දියයුතු ස්ථානයන් නොවේය. ප්‍රතිපත්ති පුජාව , ආමිස පුජාවට වඩා උතුම් බව සඳහන්කර ඇත්තේද එබැවිනි. එනිසා සිංහල බෞද්ධයන් ලෙස , බෞද්ධ යන වචනය දේශපාලනීකරණය හෝ භෞතික නිස්සාර දීවල් වලට ලඝු නොකොට බෞද්ධ දර්ශනය අනුගමනය කල යුතුය.