Friday, December 15, 2023

පැවැත්ම

දිවි සැරියේ අප බොහෝවිට, බොහෝ දේ ගැන විශ්වාසය තබනු ඇත,
ඇතැම් දේ තර්කානුකූල නොවන නමුත්, වෙනයම් කරුණක් හේතුකොටගෙන අප එය පවත්වාගනුලබයි. 

ඇතැම් විටෙක, එකී විශ්වාසය හෝ තර්කය බිඳී ගිය විට, අපට එය කෙතරම් වැදගත්වීද යන කරුන මත එය අපගේ පැවැත්මට බලපාන ආකාරය වෙනස්විය හැක. 

ඇතැම් විටෙක ඉතා සරල කරුණක් නිසා හෝ වරෙක ඉතා සංකීර්ණ සිතුවිල්ලක ප්‍රතිඵලයක් ලෙස බොහෝ වෙනස්වීම් සිදුවිය හැක. බොහෝ මිනිසුන් බැටළුවන් වැනි හැසිරීමක් නොඑසේනම් ඕනෑම ආකාරයකට වෙනස්විය හැකි පැවැත්මක් පෙන්වන නමුත්, කලාතුරකින් දැඩි මතධාරියෙක් සිටිය හැක. ඔවුන්ගේ පැවැත්ම හා වෙනස්වීම සංකීර්ණ වන නමුත් බොහෝවිට ඒක මතයක රැඳී සිටියි.
බොහෝ විටෙක දර්ශනය සාධාරණ වන අතර සරල නොවන බොහෝ සිතුවිලි යම් තීරණයක් සඳහා දායකත්වය දක්වා තිබෙනු ඇත. එනයින්ම බොහෝ තීරණ දැඩි වනු ඇත, ගැඹුරු දක්මකින් යුක්ත වනු ඇත.

ඒ කෙසේ වෙතත්, මිනිසෙකුට තම පැවැත්මට එහා යමක් තිබිය යුතුය. දර්ශනයක් තිබිය යුතුය. සියලු සතුන් අතරින් මිනිසෙකු වෙනස් වන්නේ එලෙස පවතින්නා වූ පැවැත්මට එහා ගිය චින්තනය හැර අන් කිසිවක් නිසා නොවන්නේය. 

ස්වයං දැනුවත්භාවය (Self Awareness) බුද්ධිමත්භාවයේ මූලිකත්වය ගන්නා විටෙක තම පැවැත්ම හෝ පැවතීම ගැන ප්‍රශ්න කරනා එකම ජීවියා මිනිසා වන්නේය.

Tuesday, December 5, 2023

සුළඟ

යොවුන් විය දිවි කතර වරකදි
හමුවුණාවූ සිහිල් සුළඟකි,
ස්පර්ශයක් ලත් සැණින් ලියලා,
මහ දුරකුත් දිවූ සිතුවිලි,
වචනයක ගිවිසුමක් නොලබා,
වරින් වර ඕ ඇසු පැනයකි,
පිළිතුරක් ලද නමුත් එකලදි,
සැනසුණාදැයි තාම අරුමෙකි.

ලොවට හඬගා කියනු රිසි මුත්,
සඟවුණාවු මහා කවියකි,
සිතින් නොසිරිත් කෙසේ වුවත්,
වරෙක ඇවිළුණු සිහින් ගින්නකි,
සිසිල දෙන මෙන් ඇයුරු කළමුත්,
සිත දාවාලු රුදුරු සැඩ වා,
යනෙනු ඇත නිති නොදී නිවෙනට.

Tuesday, November 21, 2023

සරුංගලයක්

සුළං රැල්ලේ ඉහළ නගිනා සරුංගල් වන් ජීවයේ,
විටෙක රුදුරුව හමන සුළඟේ දරා සිටි ඒ කාලයේ,
ඉහළ නගිනට වරෙක නිදහස ලැබූ මුත් ආකාසයේ,
වරපටක දුර ඇදී නැවතී ලෙළදෙමින් සිරවී රැඳේ.

සියොත් මිතුරන් වරෙක නුදුරුව රැඳී සිටියත් සිතුමතේ,
කවර කලෙකද වුනේ මිතුරන් මියුණු නොමියුණු ආකහේ,
වැසි වැටුණු කල විදුලියත් බට නුදුරක්ද අවසානයේ,
සියොත් මිතුරන් දනිත් එය පෙර පැන ගොසින් උන් වත්මනේ,

කෙතෙක් ඈතට ඇදී ගියත් සසලිත මහා දුර ඒ ආකහේ,
කොහේ රැඳෙනුද එවන් කලෙකදි වළා මත නම් ඉඩ නැතේ,
වළාකුල්  වූ දුහුල් සුළඟක් නොරැඳී පෙදෙසක කිසි කලේ,
වරෙක නුදුරක සිටිය මුත් වුන් කෙලෙස රැඳෙනුද දිගු කලේ.

නුදුරු බෝ වුන් දුර ගියත් මේ බවේ ලත් සුළු නිදහසේ,
කඩදාසියෙන් දිවිය ලත් කෙසේ කරනුද එමලෙසේ,
වරපටක දුර වැටගසා දුන් වර්ණවත් මේ ජීවිතේ,
සිතක් නැති ලෙස රැඳී ඉන්නෙමි පොළොව සිඹිනට අවසනේ...

#උපුටාගැනීමක්_නොවේ

Friday, November 17, 2023

මග

අක් මුල් ඇදී අඳුරුව ගිය වනයක්ය,
මඩ කුණු පිරී එරෙනා මහ පොලවක්ය,
විටෙකින් දිවිය ඩැහැගන්නා සතුනුත්ය,
එවන් මගක යන අප නම් මිනිසුන්ය,

අකුනු ගසා වසිනා මහ අහසක්ය,
වැටෙනා බිඳිති විසිරී වෙව්ලා යාය,
නවතිනු නොහැක මාවත තව බොහො දුරය,
පෙනෙනා නොපෙනෙනා දුරකින් එළියක්ය,

විටෙකදි හමුවෙනා තව බෝ මිනිසුන්ය,
ඔවුනුත් එවන් ලෙසටම බෝ දුර යාය,
ඇතැමෙක් තල්ලුවකි ඇතැමෙක් මග මාර,
සුළඟක විසිරෙනා දුහුවිලි රොටු සේය,

ඇරැඹුම තැනක නැවතුම නම් තව තැනක,
සුළඟක් වෙතත් වරෙකදි සිසිලස ගේන,
නොරැඳී හමන සුලඟින් ඇති ඵල කුමන,
ගිමනක් නොමැතිමුත් නැවතත් යා යුතුය,

අවසනක් නොදැන යන මග කී කවුරූ,
එළියද නොමැත වරෙකදි ඉදිරිය දැක්වූ,
වැරදී නොමග ගියොතින් යම් කලක් සෙවූ,
එළියෙන් කොහොම මග කියනුයි එයින් මතු..

#උපුටාගැනීමක්_නොවේ

Monday, November 13, 2023

සිතිවිලි

බිඳෙන් බිඳ ජලය මෙන් එකතුව,
පිනි බිඳුවක් මෙන් පිරිසිදුව,
පැනනැඟී දිය බුබුලක,
පියනගා ලොවකට,
ගඟකට එකතුව,
හැපී ගල් කුළුවල,
ඇදහැලී විටෙක සොඳුරුව,
විටෙක කැලතී සමග මඩ රොඩු,
ඇල වේලි පසුකර,
එක්ව මහ ගඟකට,
විටෙක රුදුරුව,
විටෙක සිහිලැල්ව,
ගලති දිය දහර,
සයුරට මුසුවනු පිණිස.

#උපුටාගැනීමක්_නොවේ

මරණය

ගතකරන්නෙමු, දවසින් දවස,
මොහොතින් මොහොත,
නිකරුනේ, කවදා වනතෙක්ද,
හැරී බැලූ කල, කුමක්දැයි 
සිතාගත නොහැකිව,
ජීවත් වීමට ජීවත් වීදයත්,
අවසාන මොහොතේ සිතනු ඇත,
නිම නොකළ බොහෝ දේ,
කියවා නිම නොකළ පොත්,
නිම නොකළ සිතුවිලි,
ආක්‍රමණය කරනු ඇත,
නමුත්,
නික්ම ගොස් තිබෙනු ඇත, ... 
තවත් එක් මිනිසෙක්,
බොහෝ කලකට පෙර මළ.

#උපුටාගැනීමක්_නොවේ

Friday, November 10, 2023

වියූ

වියුණු බස කුමක් වන් වියයුතුද යත්,
එය දුහුල් සළුවක් වන් විය යුතුය,
ඇතැම් කලෙක රළු විය යුතුය,
කියවන්නාගේ දිවිය ස්පර්ශ කල යුතුය,
තමා ලියූ වියමනක් ලෙස දැනිය යුතුය,
සංගීතය නොමැති ගීතයක් විය යුතුය,
නොඑසේනම් කෙලෙසක එය වදන් වියමනක් යැයි කියත්ද?

බඩයාම...

වරෙක යම් සංකීර්ණ වාර්ථාවක් සකස්කිරීමෙන් අනතුරුව මුහුණදීමට සිදුවූ සිදුවූ සිදුවීමකට පසුව අපට #සේකර සිහිවිය.
ඔහු, එම අවස්ථාවේ සිටියානම් මෙලෙස එය ලියා දක්වනු ඇත.

අතොරක් නැති කාර්යාල විගඩම් අතර පැවරුණු සෑම වසරකම සාදන වෙසක් කුඩුව වැනි කාර්යයක් මෙවර වඩාත් ප්‍රායෝගිකව වෙනස් හැඩයකින් සැකසීමට අපට සිත්විය. පෙර වසරවල අප උත්සාහ කරත්, වැඩි දෙනාගේ කැමැත්ත මත අටපට්ටමම සෑදීමට අපට සිදුවිය. කෙසේවෙතත්, මෙවර අටපට්ටමේ මුළු තලා, වක්‍ර කොට සියලු අයුරින්ම සාධාරණ හැඩයක් ගැනීමට දින ගණනක සිතුවිලි යුද්ධයකින් පසුව අපට හැකිවිය. සියලු හැඩතල කිහිප වරක් පිරික්සමින්, නැවත නැවතත් පිරිපහදු කළ බොහෝ වටකුරු අවසන් ප්‍රතිඵලය, දිගු මේසය මත තැබූකළ, වාග් යුද්ධය එතනින් ආරම්භ විය. 

දින ගණනක් සිතුවිලි සමග සටන්කල අපට, වාග් යුද්ධය කමකට නොවූවත්, දැඩි ලෙස පීඩාකාරී වූයේ සිංහ සෙයියාවෙන් ඉදිරියට ඇදුනු සංග්‍රාමය අවසානයේ කැණහිල් පාලනයට ලක්වන බව පෙනුනු බැවිනි. නමුත් මෙකල කැණහිල් පරපුර රජකරණ කලියුගයකට එළඹ තිබූ බැවින්, ඉතා සංයමයෙන් අපගේ කර්ථව්‍ය අවසානයතෙක් ගෙනයාමට අපට සිදුවිය සහ හැකිවිය.

නමුත් වරෙක, ඉතා සීරුවෙන් අප හැඩකල, සියලු ආකාරයෙන් සමබර වූ ගෝලාකාර ප්‍රතිඵලය දෙස බලා මෙසේ ඇසීය,
"හැකිද අපට පෙර මෙන් මෙය අටපට්ටම් ලෙසට හෝ හතරැස්ව පෙන්වීමට. මෙවැනි, ගෝලයක් දිහා කවුරුන් බලන්නද?"

එවිට, අපගේ මනසේ මෙවැනි සිතුවිල්ලක් නැගිණි,
"බඩ බුරුල්වීම නිසා වැසිකිලියක්වෙත බොහෝ දුරක් දිවගිය පසු,
ඉඳගත් සැණින් සිහින් හඬින් අධෝවාතයක් පිටවූ කලෙක, 
අහෝ, මෙතරම් අසීරුවෙන් මෙතරම් දුරක් දිවඒමට සිදුවුවත් එය අවසානයේ පුස්සක් විය. කලින් මෙවැන්නක් දැන සිටියානම් මෙලෙස නොදුවා අතරමඟදී කිසිවෙකුටත් නොදැනෙන පරිදි වාතය පිටකළ හැකිව තිබුණි. වේලාව බොහෝ සෙයින් ඉතිරි කල හැකිව තිබුණි."
🤣

*උපුටාගැනීමක් නොවේය....

සිඟමන්

#සේකර

මුණගැසුනි මට යමෙක් අසරණව,
සිඟමන් යදින මුත් තම අඹුට සරණව,
මහ දවල් මතකයක්වත් නොමැතිව දුවන,
යමෙක් සිඟමන් නොයදින තැනක,
සිඟමන් නොයදින බසෙකින.

එවිට මට සේකර සිහිවිය,
ඔහු කියනු ඇත, සිඟමන කෙතරම් නම්බුකාර වන්නේදැයි,
දෙයට වඩා බොහෝ වැදගතුන් බඩ වියත වඩා ගැනීමට කරන,
මින් එහා කිව නොහැක, වැට බැඳෙමින් ඇත ලිවීමට,
නමුත් දිනෙක ලියමි මම සිවලුන් නොහැසිරෙන තැනෙක හිඳ.

*උපුටාගැනීමක් නොවේය....

යථා

යථාර්ථය නම් මිනිසුන් යථාර්ථවාදී නොවීමයි. බොහෝ " යථාර්ථයන්" පෞද්ගලිකයි. එහි සාධාරණයක් හෝ සැබෑ යථාර්ථය ගැබ් නොවේ. තර්කයකින් සෑම විටකම සත්‍යය නොපැවසුනත්, එයින් අදහසක් ඉහළට ඔසවා තැබිය හැක. මහා හඬකින් හෝ හඬවල් බොහෝ ගණනකින් පැවසුනත් එහි පැවැත්මක් නොමැත. නමුත් පැවැත්ම ගිලිහෙන තාක් එයින් කළ හැකි හානියද බොහෝය...

ජීවිතය තිත්ත වූ කලෙක...

ජීවිතය තිත්ත වූ එක් කලෙක 
නොසිහියෙන් මා මුවෙන් වැමෑරුණු 
දුක් ගැහැට එකතු කර 
එය මහා කවියක් යැයි 
පසු කලෙක ඔබ කීහ........

මහගමසේකරගේ "කිවිඳුගේ සොහොන" කවි අතරෙන් එක් විශේෂ කවියක්. මෙලොව එලිය දැකීමේ සිට මරණය තෙක් විඳින හෝ විඳවන සියල්ල දුකකට අනෙකක් යයි මා නොසිතමි, වරෙක අඩු වැඩි වශයෙන් හෝ සැපයක් හෝ සතුටක් ලෙස පැමිණියත් කිසි කලෙක අංශු මාත්‍රයක හෝ දෙයක සැපයක් නොමැත. එසේ පවතින දුකක් වුවද කලාත්මක වූ කලෙක එය ඇගයීමට ලක්වෙති , මක්නිසාද යත් මිනිසුන් තමන් දන්නා දෙයක් ගැන වෙනත් ආකාරයකින් දැකීම ප්‍රිය වන බැවිනි.

වලාකුළු දිය වෙවී
ඇද හැලෙන වැසි දහර 
දෙපස ගං ඉවුරු බිඳ 
ගලන බොර තඹ වතුර
වෙනත් ගං හෝ වෙරළ 
පන නොයන මහ සයුර
වටයක්ය දිගු ගමන 
අක් - මුලක් නැති සසර.